Thursday, April 26, 2012

හොදි නම් ඕනෙම නෑ...!!!




පෝස්ට් එකක් ලියම්දෝ නොලියම්දෝ කියල හිත හිත ඉද්දි ඔන්න ඔහේ ලියනවා කියලා හිතිලා ලියන්න ගත්තා. සැහෙන්න වැඩ වැටිලා තිබ්බත් එක වැඩක්වත් කරන්න හිතෙන්නේ නැතුව ඉන්න කොට වැදගත් විදියේ වැඩක්වත් කොරන්න ගන්න එපැයි... මේ සිද්දිය ලියනවා කියලා  හිතට ආවේ පහුගිය අවුරුදු කාලේ මට සිද්දවෙච්ච අකරතැබ්බයක් නිසා..

ඔන්න ඒක මෙහෙමයි උනේ.. මට මතක විදියට මම එතකොට ඉස්කෝලේ දෙක වසරේ විතර ඇති. අයියයි මමයි තමා එතකොට අපේ ගෙදර රජ කලේ. අයියා එතකොට පහ වසරේ. මල්ලිලා දෙන්න හෙවත් කිඹුල් පැටවූ දෙන්න එතකොට ගොඩක් පොඩියි. අපේ දුරින් නෑදෑ වෙන අයියා කෙනක් හිටිය ආමි එකේ. එයා පුංචි කාලේ ඉඳන් ම අපි ඉපදෙන්නත් කලින් ඉඳන් හිටියේ අපේ ගෙදරලු. ඉතින් එයා නිවාඩුවට හැමදාම එයාගේ ගෙදර යනවට වඩා කරන්නේ අපේ ගෙදර එන එක. ඒ අයියා අදුරගන්න අපි කියමුකෝ එයාට ප්‍රසන්න කියලා. ඔන්න ඉතින් මේ ප්‍රසන්න අයියා හැම නිවාඩුවටම අපේ ගෙදර එනකොට අපිට කන්න මොනවා හරිත් අරන් එනවලු.. ;) අපි ඉතින් එයා මාසෙකට සැරයක් ගෙදර එනකන් මග බලන් ඉන්නවා. එයා ගෙදර ආපු දවසට අපේ අයියගෙයි මගෙයි වැඩේ එයාගේ පස්සෙන් ම යන එක තමා. එයාගෙන් ඉස්සර ආමි එකේ විස්තර දැනගන්න, එයාලා කෑම්ප් එකේදී කරන පිස්සු වැඩ දැනගන්න අපි දෙන්න හරි ආසයි. එයා හින්දම තමා අයියටයි මටයි ඉස්සර ඉදන්ම ෆෝසස් ගැන පිස්සුවක් තිබ්බේ. ඉදලා හිටලා උතුරේ එහෙම ගියාම එයා ආපහු එනකන් අපේ අම්මගෙයි, තාත්තගෙයි ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ. අපේ අම්මලත් එයාට තමන්ගේ පුතෙක් විදියට තමා අදටත් සලකන්නේ. දැන් ඇතිනේ එයාගේ විස්තර වාර්තාව. ඔන්න එහෙනම් ආපහු කතාව පැත්තට පැන්නා මම. :)


ප්‍රසන්න අයියා ගෙදර ආපු දවසක අපි ඉතින් ඔන්න එයාගේ මාසික විස්තර වාර්තාව අහගන්න කියලා එයා එක්ක කතාවට වැටුනා. එයාලා බංකර් වල ඉඳිද්දී එක එක්කෙනා අදුර ගන්න විදි, කෑම ලැබෙන විදිය, අවූරුදු කාලේදී එයාල රතිඤ්ඤා පත්තු කරන  විදිය එහෙම ගැන අපේ ප්‍රශ්නාවලියට එයා උත්තර දෙනවා. අපිත් ඉතින් ඒ කියන කතා රස කර කර අහන් ඉන්නවා. සමහර දේවල් අපිට රසේ දැනෙන්නත් එක්කම බොරු කිව්වද කියලා දැන් නම් මතක නෑ. අපි පොඩි එකාලා නිසා ඒවායේ ගානකුත් නැනේ. කෑම කාමරේ පුටු වල ඉඳගෙන උදේ පටන් ගත්තු එයාගේ විස්තර කතා අහද්දී අන්තිමට දවල් වෙද්දී ඒක හොල්මන් කතාවක් බවට ඉබේම පත් වෙලා. දැන් යකෙක්ටවත් බය නෑ කියලා කටින් කිව්වට හිරු ඉස්සර පණ බයයිලු.. හැබැයි මට වඩා අපේ අයියා බයයි කියලත් මට තාම මතකයක් තියනවා. දැන් නම් ඉතින් බය අයියට විතරයි හොදේ.. ;) (අපේ අයියා කවද හරි මේක කියෙව්වොත් මට ගැලවීමත් තියෙනත් එපැයි). අන්තිමේදී හොල්මන් කතාවල උච්චතම අවස්ථාව එනකොට හිරු හිටියේ සැහෙන්න බය වෙලා කියලා දැන් අයියල දෙන්නටම හිතිල තිබිලා තියෙන්නේ.. අපේ අම්මා දවල් කෑම ගෙනත් තිය තියලු හිටියේ ඒ වෙලාවේ. අපිට ඉතින් මෙලෝ සිහියක් නැතුව ප්‍රසන්න අයියාගේ කතාව අහන් හිටිය මිසක් වටපිටාව ගැන කිසි අවධානයක් තිබ්බේ නෑ. අනික ඉතිං මේ පුංචි උන්ට කතාවක් කිවොත් කට ඇරන් අහන් ඉන්නවා මිසක් උස්සන් ගියත් දැනෙන්නේ නෑනේ. කතාව ඉවර වෙද්දී සෑහෙන්න බය වෙලා හිටපු මාව තවත් බය කරන්න ගත්ත අන්තිමට අයියල දෙන්න එකතු වෙලා.

එක සැරේටම..අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්

 " ඔන්න හොල්මන පිටිපස්සේ"

 කිව්වා විතරයි මාත්උන් හිටිතැන් අමතක වූවා සේ කෑගහගෙන කඩාගෙන බිදගෙන දුවපි ලනුව කඩාගත්ත ගොනා වගේ කාමරෙන් එලියට. අම්මා එතකොටම දවල් කෑම වලට හදපු ලිපෙන් බාපු ගමන්ම උණු උණු ඇඹරැල්ලා ව්‍යාංජනයක් දාපු තසිමකුයි උණු උණු අල හොදි තසිමකුයි අතේ තියාගෙන ඉස්සරහට ආපු හැටි මට අද වගේ මැවිලා පේනවා. අම්මත් පෙරලගෙන මම දුවන්න ගිහින් උණු උණු හොදි පීරිසි දෙක ම මදි නොකියන්න නෑවා කියලා විතරක් මතකයි මට... (ඉතිරි මතකය හිස්තැනක් වී පවතී...)

අම්ම කියපු විදියට තමා මට ඉතිරිය මතක ඉතින් හොඳේ. හොඳ වෙලාවට එදා ගෙදර තාත්තා හිටිය නිසා මාව ඉක්මනට උස්සන් ගිහින් නෑව්වලු. නාවලා ඉවර වෙලා අපේ ගෙදර පිටි පස්සේ වවලා තිබුන කෝමාරිකා පඳුරු ඔක්කොටම පින්සිද්ද වෙන්න අද ඒක නිසා එක පිළිස්සුම් කැලලක්වත් මගේ මූනේ ඉතුරු නොවී යන්තම් මුණ බේරා ගන්න පුළුවන් උනා කියලා තමා අම්මා කිව්වේ. අන්තිමේදී මම මුළු ගමටම ඇහෙන්න එදා ඇඬුව බව නම් මට අදටත් හොදටම මතකයිලු. අයියලා දෙන්න සැහෙන්න  බය උනා කියලත් පසු කාලීනව ආරංචි වුනා... .එදා රෑ අයියල දෙන්න කිඹුල කිරිමැටි ගිල්ලා සේ පසුවූ බව ගෙදර හැමෝම දන්නවා.. ;) අදටත් අපේ ගෙදර වටේට කෝමාරිකා පඳුරු ඉන්දද්දී අපේ තාත්තා ඔය කතාව මතක් කරනවා. බලද්දී අපේ තාත්තලා අපි ගැන කොච්චර හිතලා වැඩ කරනවද කියලා ඕව ගැන හිතද්දී මට හිතෙනවා අප්පා...





ප.ලි.: අවුරුදු දවසට පස්සෙන්දා අපේ නෑදෑ පරපුරට කැම හදන්න ගිහින් අත තෙල් තාච්චියට ගිහින් ඇඟිල්ලක් බැදුණ නිසයි මට මේ සිද්දිය මතක් උනේ.., ඒ වගේම අයියාගේ නම හැර අනෙක් සේරම සත්‍ය සිදුවීමක් වන බවත් කියන්න ඕනෙ... :)
බ්ලොග් එකේ ලියන මුල්ම කතාව මෙය වන බවත් වරදක් ඇත්නම් සමාවෙලා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා..



Monday, April 9, 2012

සෙවනැල්ල නුබ කෙසේ අමතක කරම්ද...?


නුබ මාගේ සෙවනැල්ල වී
නිරතුරුව මා පසු පසම හුන්නා
උදැසන නුබ මා පුබුදවා
නිවසෙන් බැහැරව යනතෙක්
සොවින් බලා සිටි නුබ 
මා නිවසට එන තෙක් පෙරමග
බලා හිදී සැමදා..
එහෙත් ඔබ අද නැත
ඔබට මා අමතකව ඇත
උපන්දා පටන් මා ලග
සෙවනල්ලක්ව හුන් ඔබ
අද මා හැර දමා ගොස්
වසරක්ම පිරි ඇත..
අද මා තනිව ඇත
සදාතනික මිතුරියේ
නුබගේ මතකය පමණක්
අද මා හදේ සදා සුරැකිව ඇත
ඒ සොදුරු මිතුදම ගෙවූ අතිතය
නුබට මා හට මෙන්  මතකද?
ඉපදෙන හැම ආත්මයේම
නුබ මගේ සදාතනික මිතුරියම වේවා..!!!
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.






ප.ලි.:
    
මගේ යාලුවනේ මම බ්ලොග් එක ලියන්නේ නෑ කියලා හිතන් හිටියත් මට අද දවස මගේ ජිවිතේ අමතක කරන්නමා බැරි දවස් වලින් එකක් වෙලා. මගේ ආදරණිය මිතුරිය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් වලින් එකක් විදියට හිතලා මම මේක ලිව්වා..එකේ කිසිම ලස්සනක් නැතුව ඇති. එත් හදවතට දැනුන දේ ලියාලා දැම්මා.

ප.ප.ලි.:
   
අද උපන්දිනය සමරන හැමෝටම සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජිව්තේ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!!!